වර්තමාන රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව අනුව, නව තාක්ෂණය මුසුවූ අපනයන කේන්ද්‍රීය වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයක් ඇති කිරීම සඳහා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වීමට 2020 සැප්තැම්බර් මස 25 දිනැති අංක 2194/74 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් “පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය” පිහිටුවා ඇත. පර්යේෂණාත්මක විධික්‍රමයන්, නව තාක්ෂණික මෙවලම් හා ප්‍රශස්ත භූමිය උපයෝජනය හරහා අගය එකතු කරන ලද නිෂ්පාදන විවිධාංගිකරණයක් තුළින් අපනයන වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ගනිමින් සමස්ත වැවිලි ක්ෂේත්‍රය නව මානයක් වෙත යොමු කිරීම අරමුණු කරගත් වැවිලි අමාත්‍යාංශයේ විෂය පථයට  අනුව පොල්, කිතුල් හා තල් වගා ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම මෙම අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලැබේ.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියළුම ආයතන වල ද සහයෝගය ඇතිව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ සුවිශේෂී ප්‍රමුඛතා වන පවත්නා පොල් වගාවන්හි ඵලදායීතාව වැඩි දියුණු කිරීම සහ දැනට පොල් වගා නොකරන පළාත්වල පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සහ අතුරු භෝග වගාවට වගාකරුවන් දිරිමත් කිරීම තුළින් පොල් ඉඩම් වල ඵලදායීතාවය වැඩි කිරීම, පොල්, තල් හා කිතුල් කර්මාන්ත ප්‍රවර්ධනය සහ අගය එකතු කිරීම තුළින් නිෂ්පාදන විවිධාංගීකරණය හා නිෂ්පාදන අපනයන සඳහා යොමු කිරීම, පර්යේෂණ තුළින් අධි ඵලදා පැළ හදුන්වාදීම සහ තාක්ෂණික  නවෝත්පාදනයන් තුළින් පොල්, තල් හා කිතුල් ක්ෂේත්‍රයන්හි කාර්මික  සංවර්ධනයට දායක වීම යන කාර්යයන්ට සමගාමීව මෙම රාජ්‍ය අමාත්‍යාංශය විසින් 2021-2025 සඳහා වූ පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත